අපගේ ජන්ම දින සැමරුම සහ තායිලන්තයේ පැරණිම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන චූලාලංකෝර් විශ්ව විද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම අරමුණු කරගෙන අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන ලද “ලෝකාර්ථචර්යානුයෝගී යතිවරයාණෝ” සැමරුම් උළෙල 03 වන දින පස්වරුවේදී මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට මහා විහාරවංශික සියම් මහනිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය නාරම්පරනාවේ ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමිපාණන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා, හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, තිස්ස අත්තනායක, විමල් වීරවංශ, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රමුඛ ගිහි පැවිදි ආරාධිතයන් 800ක පමණ පිරිසක් සහභාගීවීම ද සුවිශේෂී විය.

















