වර්තමානය වන විට අනුලා ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති ආකාරය

වර්තමානය වන විට අනුලා ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති ආකාරය

මීට වසරකට ඉහතදි මිහින්තලා පූජාභූමියට අයත් අනුලා ස්තූපය පිහිටි ස්ථානයට අප වැඩමකරන විට එහි ලඳු කැලෑ වලින් වසාගත් වනලැහැබක් මෙන් තිබු ප්‍රදේශයක් එදා අපට දක්නට ලැබුණ ද, පුරාවිද්‍යා නිලධාරින් හා ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් අපට පැවසුවේ මේ ස්ථානයේ ක්‍රි.පූ 2 සියවසේ විහාරමහා දේවිය විසින් කරවන ලද අනුලා ස්තූපය තිබෙන බවත් එය කැණිම් කොට නැවත ප්‍රතිසංස්කරණය කොට ඉස්මතු කරගතයුතු බවත් අතීතයේ එහි මෙහෙණි ආරාම පද්ධතියක් පැවති බවත් එහි දීර්ඝ ඉතිහාසය පිළිබද අප සමග සාකච්ඡා කළේය.

ඒ අනුව අප වසර 20 කට අධික කාලයක් පුරාවට ලංකාවේ මෙහෙණි සසුන උදෙසා විශාල කැපකිරීමක් කොට මෙහෙණි සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකටයුතු කරන බැවින් අපගේ අදහස වූයේ මෙම ස්ථානය පුරාවිද්‍යා නිලධාරින් සමග සහසම්බන්ධ වෙමින් සංරක්ෂණ කටයුතු කරමින් අතීතයේ පැවති ආරාම පද්ධතිය ඒ අයුරින්ම ඉදිකොට, දෙස් විදෙස් වල සිටින සියලුම බෞද්ධයන්ට අතීතයේ පැවති මෙහෙණි සසුනේ ආරම්භය සහ විකාශනය වු ස්ථානය දැකබලා වැදපුදා ගැනීමට අවස්ථාවක් ලබාදීමයි. 

ඒ අනුව අප මෙහි කැණිම් කටයුතු සිදුකරන ලෙසත් අපට ඒ සදහා අනුග්‍රහය ලබාදිය හැකි බවටත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්‍ය අනුර මනතුංග මහතා මුණගැසි මේ පිළිබදව සාකච්ඡා කල අතර, එතුමාගේ ද පුර්ණ අධීක්ෂණය සහ සහයෝගය ඒ සදහා ලබාදෙන බව බොහෝම සතුටින් එතුමා අපට දැන්විය. ඒ අනුව එතුමාගේ අධීක්ෂණය යටතේ අනුරාධපුර භාර පුරාවිද්‍යා නිලධාරින් විසින් මෙම කැණිම් කටයුතු මීට වසරකට පෙර සිදුකිරීමට ආරම්භ කෙරිණි. 

ඒ අනුව ඒදා ලඳු කැලෑ වලින් වසාගත් වනලැහැබක් මෙන් පැවතුණු ඒ අනුලා ස්තූපය පිහිටි භූමිය, අනුරාධපුර භාර පුරාවිද්‍යා නිලධාරින්ගේ දිවා රෑ වෙහෙස නොබලා කරන ලද කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා කඩිනමින් වර්තමානයේ තිබෙන අනුලා ස්තූපයේ මුලාරම්භක අවධිය එසෙත් නැතිනම් අතීතයේ පැවති ස්තූපයේ නටඹුන් ඉස්මතු කරගන්නට හැකිවීම බොහෝම සතුටුදායක කරුණකි.

ඒ අනුව දෙසැම්බර් මස 26 වන දින නැවතත් මේ ස්ථානයේ ලංකාවාසී සියලුම මෙහෙණින් වහන්සේලා උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිණමමින් මහා පරිෂ්කාර පූජාවක් පිරිනමා මෙම ස්ථානය පිළිබද උන්වහන්සේලාට දැනුවත් කිරීම අපගේ අරමුණයි. මේ සදහා ඉදිරි වසර කිහිපය තුලදී අපගේ අපේක්ෂාව වනුයේ මෙම ස්තූපය කඩිනමින් ඉදිකොට මෙම ආරාම පද්ධතිය අතීතයේ පැවති ආකාරයෙන්ම ඉදිකර සසුනට පූජා කිරීමයි.