කුරුන්දි පුරාවිද්‍යා භුමියේ සංරක්‍ෂණ කටයුතු අරඹයි

කුරුන්දි පුරාවිද්‍යා භුමියේ සංරක්‍ෂණ කටයුතු අරඹයි

මුලතිව් තන්තිරිප්පු රක්‍ෂිතයේ කුරුඳුමලේ වැවට මැදිව ඇති උස්බිම් ප්‍රදේශයක ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානය පිහිටා ඇත. මේ පුරාවිද්‍යා ස්ථානය මුල් ඓතිහාසික යුගයේ (ක්‍රි.ව. 1 සහ 2 යන සියවස් වල) ඉදිවූ ආරම්භක නටබුන් සහිත ස්ථානයකි. මහාවංශය මෙම ස්ථානය කුරුන්දක, කුරුන්ඥා පාසකල වශයෙන්ද, 1905 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාලන වාර්තාවේ කුරුන්දන්මලේ වශයෙන්ද හඳුන්වා ඇත.

වර්තමානයේ කුරුඳුමලේ වශයෙන් හඳුන්වන මෙය කුරුන්ද, කුරුන්දුවෙලි යනුවෙන්ද හඳුන්වයි. වංශ කතාවලට අනුව ලංකාවේ ලියවුණු අට්ඨ කතා අතර කුරුන්දි අට්ඨ කතා නම් සුවිශේෂි අට්ඨ කතා ග්‍රන්ථ රචනා කරන ලද්දේ මේ ස්ථානයේ බවට විශ්වාස කරනු ලැබේ.

ඛල්ලාට නාග රජු විසින් (ක්‍රි.ව. 100-103) මේ විහාරය ගොඩනැගු බවත්, පළවන අග්බෝ රජු (ක්‍රි.ව. 571-604) හා පළවෙනි විජයබාහු රජු (ක්‍රි.ව. 1055-1110) යන රජවරුන් කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහයන් දැක්වූ බවට මහා වංශයේ සඳහන් වේ. තව ද බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේදී මේ ස්ථානයට වැඩි බවට ජනප්‍රවාද පවතී.

පබ්බතාරාමයක් ලෙස සැලකෙන මෙම ඵෙතිහාසික පුරාවිද්‍යා ස්ථානයේ කැනීම් කටයුතු 2021 ජනවාරි මස 18 දින ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතාගේ අනුග්‍රහයෙන් ආරම්භ කෙරුණි. ඒ සඳහා බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍ය දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

2021 අප්‍රේල් මස කැනීම් තුළින් එහි පිහිටි ස්ථුපයක නටඹුන් ඉස්මතු වූ අතර එය මෙම භූමියේ ඉපැරණි විහාර සංකිර්ණය බව තහවුරු විය. එහි සංරක්‍ෂණ කටයුතු බෞද්ධාලෝක පදනමේ පුර්ණ අනුග්‍රහයෙන් යුධ හමුදා 24 වන බල ඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහාය ලබා ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොබෝදා ආරම්භ කරන ලදී.

මෙම සංරක්‍ෂණ කටයුතු වලින් වසර දෙදහසකට ආසන්න කාලයක් පුරා වැලලී ගිය අපගේ ඉතිහාසය මතුකර එය තහවුරු කර අනාගත පරම්පරාවට ආරක්‍ෂා කර දායද කරලීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙලෙස සංරක්‍ෂණ කටයුතු ආරම්භ කළ මෙම පුරාවිද්‍යා භුමියේ නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා 2021-08-07 වන දින නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උප කුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෝදාගම චන්දිම ස්වාමින් වහන්සේ, මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුන වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත්, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති සහ බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා, බෞද්ධාලෝක පදනමේ අධ්‍යක්‍ෂිකා සමන්තා සුමතිපාල මහත්මිය, කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මාහාචාර්ය මාලිංග අමරසිංහ මහතා, මාහාචර්ය තිස්ස මුනසිංහ මහතා, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බි්‍රගේඩියර් ප්‍රධාන මණ්ඩලික නිළධාරි ප්‍රදීප් ගුණවර්ධන මහතා, 24 වන බල ඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් රුවන් රුද්‍රිගූ මහතා ඇතුළු යුධහමුදා සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.